ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය විසදීමට සධාර්මික වෙළඳ ක්රියාකාරීත්වයක අදාලත්වය
නොබෙල් ත්‍යාගලාභී මොහොමඩ් යුනුස්ගේ සංකල්පයකට අනුව නිර්මාණය වූ ක්ෂුදු මූල්‍ය ණය ක්‍රියාවලිය එහි ආරම්භක අරමුණින් මේවන විට බොහෝ සේ අපගමනය වී ඇත්තේ මිලියන 2.8ක් ශ්‍රී ලාංකිකයින් මේ වන විට ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවී සිටින බැවිනි. ක්ෂුද්‍ර මුල්‍ය ණය ව්‍යසනයට එරෙහි ජාතික සමුළුව විසින් මෙම ගැටලුව සෘජු ලෙසම ආමන්ත්රනය කර ඇති බව පෙනී යයි. ග්‍රාමීය ආර්ථිකය නංවාලීම, කුඩා නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම, කාන්තා සමුපකාර පිහිටුවීම, ප්‍රජා ව්‍යවසායකත්වය සහ ගෝලීය මහජන සේවාවන් මූලික අයිතිවාසිකම් ලෙස සහතික කිරීම ඇතුළු සධාර්මික වෙළඳාම හරහා ශක්තිමත් විකල්ප ආකෘතියක් නිර්දේශයන් විසින් පරිකල්පනය කරයි. ඒවිසින් ක්ෂුද්‍ර ණය අර්බුදය විසඳනුඇත්තේ කෙසේද?
බුද්ධික බණ්ඩාර
ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය
ඇය මා හට හමුවූයේ හිගුරක්ගොඩ නගරයේ උපවාස භූමියේ වාඩිලාගෙන සිටින විටය. ඒ වන විට ක්ෂුද්‍ර මුල්‍යය ණය කපා හැරීමට බල කිරීමට ආරම්භ කර ඇති උපවාසයට දින අටක් පමණ ගතවී තිබිණි. මීට දින කිහිපයකට කලින් උපවාස භූමියට ආසන්න ග්‍රාමයක ස්ත්‍රියක් සිය දිවි නසා ගෙන තිබුනේ ක්ෂුද්‍ර ණය ගෙවා ගැනීමට නොහැකිව සිය දිවි නසා ගන්නා අයගේ සංඛ්‍යාව දෙසිය ගණනකට ආසන්න කරමිනි. උත්ප්රාසජනක ලෙස එම මරණය සිදුවී තිබුනේ ජාත්‍යාන්තර කාන්තා දිනයට පසු දවසේ ය. නොබෙල් ත්‍යාගලාභී මොහොමඩ් යුනුස්ගේ සංකල්පයකට අනුව නිර්මාණය වූ ක්ෂුදු මූල්‍ය ණය ක්‍රියාවලිය එහි ආරම්භක අරමුණින් මේවන විට බොහෝ සේ අපගමනය වී ඇති බව මෙම කාන්තාවන්ගේ ජීවණ අත් දැකීම් අපට කියා දෙයි. වසර හැත්තෑවකට ආසන්න ඇය මා හට පවසා සිටියේ ඇය කොට්ට මසා විකිනීමේන් ජීවිතය ගෙන යන බවත් ඒ ව්‍යාපාරය දියුණු කිරීම සදහා ක්ෂුද්‍ර මුල්‍යය ආයතණයකින් ණය ලබා ගත් බවය. නුමුත් අවාසනාත්මක ලෙස පුළුන් මිළ ඉහළ ගිය බැවින් ව්‍යාපාරය අඩාල වී ඇත. මේ නිසා ඇය ණය ගෙවීමට නොහැකිව අසරණ විය. සාමාන්‍යයෙන් විශ්‍රාම සුවයෙන් සිටීමට යුතු වයසක සිටින ඇයට දැන් සිදුවී ඇත්තේ ණය ලබාදෙන ආයතනයේ තැරැව් කරුවන්ගේ නිරන්තර තර්ජනයෙන් මිදීමට සැගවී සිටීමටය. තමන්ගේ ජීවිතය සතු ඉතිරි කාලයේ බියෙන් සැගවී සිටිම වෙනුවට අවසානයේ සටන් කිරීමට ඇය තීරණය කර ඇත.
ක්ෂුද්‍ර මුල්‍ය ණය අර්බුදය හුදෙක් වගකීම්විරහිත ලෙස ණය ලබා ගැනීමකට වඩා ඔබ්බට ගිය ලාංකික ග්‍රාමීය දිලිදු භාවයේ ව්‍යුහාත්මක ගැටළුවක් බව පෙනී යන්නේ මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට ගොදුරු වී ඇති ප්‍රමාණය ලක්ෂ 28කට ආසන්න බව බව සළකන විටදිය. විශේෂයෙන් ග්‍රාමීය කෘෂි කර්මාන්තය තුළ නියැලී සිටින සුළු පරිමාණ නිශ්පාදකයන් සහ ගොවීන් එම නිශ්පාදන ක්‍රියාවලියේ ප්රතිලාභ අවම වශයෙන් ලබා ගන්නා කොටසයි. ලංකාවේ නිශ්පාදන ක්‍රියාවලියේ අගය දාමයේ වැඩිම කොටස ලබා ගන්නේ විශාල සමාගම්, ව්‍යාපාරිකයන් සහ අතරමැදියන් ය. මෙම නිසා කෘෂි නිශ්පාදනයේ යෙදෙන බහුතරයක් සුළු නිශ්පාදකයන්ට හා ගොවීන්ට සිදුවී ඇත්තේ තම ජීවිකාව පවත්වාගන යාම සදහා ගොවිතැන් නොකරන කාලයේ වෙනත් ආදායම් මාර්ග වෙත යොමු වීමටය. නුමුත් මේ සදහා අවශ්‍ය මූලික ප්රාග්ධනය නොමැති වීම ඔවුනට ඇති ප්‍රධාන බාධකයකි. විශේෂයෙන් ස්ථාවර ආදායම් මාර්ගයක් නොමැති බහුතරයක් වූ මෙම ප්‍රජාවට ප්‍රධාන පෙලේ රාජ්‍ය හා මූල්‍ය ආයතන හරහා ණය ලබා ගැනීමට නොහැක්කේ ණය ලබා ගැනීමට එම ආයතන ඉල්ලා සිටින කොන්දේසි ඉටු කිරීමට ඔවුන් අසමත් හේතුවෙනි. මෙම ව්‍යාහාත්මක ගැටළුව ක්ෂණික ලාභ අරමුණු පතන මුල්‍ය ආයතන වලට පහසු ගොදුරැ බිමක් නිර්මාණය කර ඇත.
මෙම අර්බුදය මේ වන විට මිනිස් ජීවිත බිලිගන්නා මටිටමකට පැමිණ ඇත. මෙයට විසදුමක් නොමැතිද? ක්ෂුදු මුල්‍ය අර්බුදයෙන් මිදීම සදහා තාවකාලික විසදුමක් ලෙස ණය කපා හැරීමේ යෝජනාව ඉදිරිපත් කළ හැකි වුවද එය සමස්ථයක් ලෙස මෙම අර්බුදය සාර්ව ලෙස විසදිය හැකි විසදුමක් නොවේ. ඒ සදහා ලංකාවේ ග්‍රාමීය දිලිදු බව සහ කෘෂි නිෂ්පාදනයේ බිද වැටීමට හේතු පාදක වී ඇති ව්‍යහාත්මක ගැටළු ගැඹුරින් ආමන්ත්‍රණය කරන විසදුම් ඉදිරිපත් කළ යුතුවේ. ක්ෂුද්‍ර මුලය ණය නිසා විපතටපත් කාන්තා එකමුතුවත් සිවිල් සංවිධානත් ඒකාබද්ධ ව සංවිධානය කර තිබුණු ”ජීවිතය වෙනුවට මරණයට අත වනන ක්ෂුද්‍ර මුල්‍ය ණය ව්‍යසනයට එරෙහි ජාතික සමුළුව” විසින් මේ සදහා පහත පරිදි දිගු කාලීන යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබිණි.
1. වසර 40ක ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක ආපසු හැරවීම
ක්ෂුද්‍ර මූල්‍ය ණය ඇතුළු ග්‍රාමීය ණයගැතිභාවය සදහා ප්‍රධානතම හේතුව ග්‍රාමිය ආර්ථිකයේ කඩා වැටිමයි. එය පසුගිය වසර 40 කට ආසන්න කාලයක් තුළ අනුගමනය කරන ලද ආර්ථික ප්රතිපත්තීන්ගේ ප්රතිඵලයකි. එබැවින් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවමින්, ග්‍රාමීය ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන හා ජීවනෝපායන් නගා සිටුවන සාර්ව ආර්ථික ප්‍රතිපත්තින් ක්‍රියාත්මක කිරිම
2. සුළු නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම
දිගුකාලීනව ග්‍රාමීය දුප්පත්කම හා කාන්තාවන්ගේ ණයගැතිභාවය තුරන් කිරිම සදහා ග්‍රාමීය ආර්ථිකයේ පදනම වන සුලු පරිමාණ කෘෂිකර්මාන්තය, ධීවර, ග්‍රාමීය කර්මාන්ත වැනි ක්ෂේත්‍ර සදහා වන අයෝජනයන් වැඩි කිරිම තුළින් ග්‍රාමීය ජනතාවගේ (විශේෂයෙන් කාන්තාවන්ගේ) ජීවනෝපායන් ගොඩනැංවීම.
3. කාන්තා සමුපකාර සමිති පිහිටුවීම
ග්‍රාමීය කාන්තාවන්ගේ ණය අවශ්‍යතා සැපිරීම සදහා කාන්තා සංවිධාන හා රාජ්‍ය බැංකු ඒකාබද්ධ වූ අඩු පොලී සහනදායී ණය ක්‍රියාවලියක් දියත් කිරිම. මෙහිදී සැලසුම් කිරිම් හා තීන්දු ගැනීම් ව්‍යුහයන් තුළ කාන්තා සහභාගිත්වය තහවුරු විය යුතු අතර, ලාභය නැවත ප්‍රජාව තුළටම ආයෝජනය වන ක්‍රමවේදයක් මත පදනම් විය යුතුය. සුළු පරිමාණ නිෂ්පාදකයින්ට හා කාන්තාවන්ට රාජ්‍ය බැංකු හරහා සහනදායී ණය ක්‍රමයක් ගොඩනැගීම.
4. පුද්ගල මුලික ව්යවසායත්වය වෙනුවට ප්‍රජා-ව්යවසායත්වය
තනි තනි තැනැත්තන් වෙත ණය ලබාදීම වෙනුවට සාමූහිකයන් නිර්මාණය කරමින් එකී සාමූහික වෙත මුදල් ආයෝජනය කිරීම තුලින් ප්‍රජාවේ සාමූහික ආර්ථික ක්රියාකාරිත්වයන් මත පදනම් වූ සැලසුම් සහගත ග්‍රාමීය ආර්ථීක ප්‍රවර්ධන වැඩපිලිවෙලක් නිර්මාණය කිරීම.
5. පොදු දේපළසඳහා ඇති අයිතිය ආරක්ෂා කිරීම
ජනයාගේ ජීවනෝපායන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරිම සදහා අත්‍යවශ්‍ය වන ඉඩම්, බීජ, ජලය, වෙරළතීරය, වනාන්තර වැනි ස්වභාවික සම්පත්වල අයිතිය හා වෙළෙදපොල ප්රවේශයන් තහවුරු කිරිම.
6.විශ්වීය පොදු සේවා මුලික අයිතිවාසිකම් ලෙස තහවුරු කිරීම
ජනතාවගේ මූලික අයිතිවාසිකම් විය යුතු සෞඛ්‍ය, අධ්‍යාපනය, සමාජ ආරක්ෂණය ඇතුළු ආරිථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙස ව්‍යවස්ථාපිත කිරීම හා ඒ සදහා වන රාජ්‍ය ආයෝජනයන් වැඩි කිරිම.
ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමත්, මිනිසා, ප්‍රජාව සහ පරිසරය අතර සහ සම්බන්ධතාවය රැකෙන සාර්ව තිරසර සංවර්ධන ආකෘතියක් නිර්මාණය කර ගැනීමත් සහ කාන්තා සවිබල ගැන්වීමත් ඉලක්ක කොට ගත් ඉහත යෝජනාවලිය සහ වර්තමානයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශය විසින් තෝරාගෙන ඇති නව ලිබරල්වාදී ආර්ථික ක්‍රියාවලිය අතර ඇත්තේ දරුණු නොගැලපීමකි. තවත් අතකින් ඉහත යෝජනාවලියක වැදගත්කම හදුනාගත් රජයකට වුවද ලංකාව රටක් ලෙස සමකාලීනව මුහුණ දී ඇති උග්‍ර ණය අර්බුදය හමුවේ සමාජ සුබසාදනය ප්රමුඛ කොටගත් ආර්තික ක්‍රියාවලියක් දෙසට හැරීමට ඇති අවකාශය සීමිතය. මෙනිසා ප්‍රධාන ධාරාවේ ආර්ථික ක්‍රියාමාර්ගයන්ට ඔබ්බෙහි පවතින විකල්ප ආර්ථික ක්‍රියාවලියක් වෙත අපගේ අවධානය යොමු කිරීම අපට මෙම ගැටළුවට ආමන්ත්‍රණය කළ හැකි තවත් මාර්ගයකි. මෙහිදී යෝජනා කර හැකි එක් විකල්ප ආර්ථික ක්‍රියාවලියක් වන්නේ සධාර්මික වෙළදාමයි.
සධර්මික වෙළදාම
සධර්මික වෙළදාම පිළිබඳ ව්‍යාපාරය ගෝලීය සමාජ ව්‍යාපාරයකි. එහි අරමුණ වන්නේ වෙළදාම එයට සහභාගීවන සියළුම පාර්ශවයන්ට ප්රතිලාභ ලබාදෙන ක්‍රියාවලියක් බවට ප්‍රතිනිර්මාණය කිරීම හරහා විකල්ප ආර්ථික ක්‍රියාවලියක් නිර්මාණය කිරීමයි. සධාර්මික වෙළඳාම සඳහා මූලික පදනම් නිර්මාණය වන්නේ 18 වන ශතවර්ශය තුළ පාරිභෝගිකයන් හා නිෂ්පාදකයන් අතර නිර්මාණය වූ සමූපාකාර ක්‍රියාකාරත්වයන් හරහාය. ජාත්‍යාන්තර සමූපාකාර ව්‍යාපාරය මේ සඳහා මූලිකව බලපා ඇත. දකුණේ රටවල විවිධ දුෂ්කරතාවයන්ට මුහුන පෑ ගොවියන්ගේ, සුළු නිෂ්පාදකයන්ගේ හා නිර්මාණ ශිල්පීන්ගේ නිෂ්පාදන විකල්ප වෙළඳ සංවිධානයන් විසින් උතුරේ රටවල සාමාජ ප්‍රශ්න පිළිබඳ සංවේදී පිරිස් අතර විකිණීමේ ක්‍රියාවලියක් ලෙස මෙය දෙවන ලෝක යුධ සමයේදී තව දුරටත් වර්ධනය විය. සධාර්මික වෙළඳාමේ මූලික ප්රතිපත්තීන්, ආචාරධර්මයන් හා සමාජ වෙනසක් සඳහා වු ප්රජාතන්ත්රවාදී මාර්ගයන් නිර්වචනය වූයේ උතුරේ හා දකුණේ රටවල සමූපාකාර ක්රියාකාරීත්වයන් මත පදනම්ව ක්‍රියා කරනු ලැබූ මෙම මුල් සධාර්මික වෙළඳ ක්‍රියාකාරකයින්ගේ ක්‍රියාකාරකම් හරහාය.
මේ වන විට සධාර්මික වෙළඳ ව්‍යාපාරය ලොව පුරා රටවල් රාශියක ක්‍රියාත්මක වේ. 2018 වසර අවසන් වන විට සධාර්මික වෙළඳ නිෂ්පාදන කණ්ඩායම් 1707ක් රටවල් 73 ක ක්‍රියාත්මතව විය. ඉන්දියාව, මෙක්සිකෝව, ඊජිප්තුව, ශ්‍රී ලංකාව, ආජන්ටිනාව, චීනය, පලස්තීනය, බ්‍රසීලය, කියුබාව, පේරු, වියට්නාමය, ලාඕසය මේ රටවල් අතරින් කිහිපයකි. එමෙන්ම 2018 වසර මෙම නිශ්පාදන කණ්ඩායම් තුළ නිශ්පාදකයන් සහ ගොවීන් මිලියන 1.7 ක් නිරතව සිටියහ. සධාර්මික වෙළඳ සළකුණු සංවිධානයන්ගේ ජාත්‍යාන්තරය පෙන්වා දෙන ආකාරයට 1930 වසරට පසු ඇතිවුනු දරුණුම මූල්‍ය අර්බුදය පැනනැගි 2008 වසර තුලදී පවා සධාර්මික වෙළදාම 22%ක සාර්ථක වර්ධනයක් පෙන්නුම්කර ඇත. සධාර්මික වෙළඳ ව්‍යාපාරය විකල්ප වෙළඳ ක්රියාකාරීත්වයක් ලෙස මෙලෙස වර්ධනය වීමේ හේතුවෙන් ඒ කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය දැන් යොමු වෙමින් පවතී.
සධාර්මික වෙළදාම විවිධ රටවල ක්‍රියාත්මක වෙනවා මෙන්ම විවිධ ආකෘති වලින් ද ක්‍රියාත්මක වේ. සමූපකාරයන් ලෙස, පුද්ගලික වෙළද ව්‍යාපාරයන් ලෙස, සමාගම් ලෙස, ආර්ථික සමානත්වය වෙනුවෙන් ක්‍රියාත්මක වන දේශපාලනික කන්ඩායම් ලෙස, ප්‍රජා සමිති ලෙස, දැනුවත් කිරීමේ ව්‍යාපාරයන්හි යෙදෙන විශ්වවිද්‍යාලවල හා පාසැල් වල ශිෂ්‍ය කණ්ඩායම් ලෙස, ගොවි හා කම්කරු සංවිධාන ලෙස, ප්‍රමිති සහතික ආයතන ලෙස හා තවත් විවිධ ආකෘතිවලින් සධාර්මික වෙළද ව්‍යාපාරය කටයුතු කරයි.
සධාර්මික වෙළඳාම යටතේ තම ක්රියාකාරිත්වයන් අඳුනාගන්නා බොහොමයක් කන්ඩායම් පහත දැක්වෙන භාවිතාවන් පොදුවේ අනුගමනය කරනු දක්නට ලැබේ
1. වෙළඳපලට ඇතුල්වීමට ඇති මාර්ග පුළුල් කිරීම හරහාත්, නිශ්පාදකයන්ගේ කන්ඩායම් සවිබල කිරීම හරහාත්, සධාරණ වෙළඳ මිලක් ගෙවීම හා කල්පවතින වෙළදසම්බන්දතා නිර්මාණය කර දීම හරහාත්, නිශ්පාදකයන්ගේ ජීවන තත්වය සහ පැවැත්ම වැඩි දියුනු කිරීම.
2. විශේෂයෙන් ස්ත්‍රීන් සහ ස්වදේශික වැසියන් වැනි අඩු වරප්‍රසාද ලබන නිශ්පාදකයන්ගේ සංවර්ධන අවස්ථාවන්ට අනුග්‍රහය දැක්වීම සහ නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී ළමයින් සූරාකෑමෙන් ආරක්ෂා කිරීම.
3. ජාත්‍යාන්තර වෙළඳාම තුළ නිෂ්පාදකයන්ට අත්විදීමට සිදුවන අසාධාරනයන් පිළිබඳ පාරිභෝගිකයන් අතර දැනුවත්භාවය ඇතිකිරීම. (මෙමගින් පාරිභෝගිකයන් හට තමන් සතුව ඇති භාන්ඩ මිළදීගැනීමේ හැකියාවේ බලය මෙම අසාධාරනයන්ට විරුද්ධව ක්‍රියාත්මක කල හැකිවේ.)
4. සම්මත ජාත්‍යාන්තර වෙළදාම තුළ ක්‍රියාත්මක වන නීතී හා භාවිතා වෙනස් කිරීම සදහා අරගල කිරීම.
5. සංවාදය, විනිවිදභාවය, හා අනෝන්‍ය ගෞරවය මත ක්‍රියාත්මකවන වෙළඳ සම්බන්ධයක් සඳහා පූර්වාදර්ශයක් සැපයීම
6. මානව අයිතිවාසිකම් ආරක්ශා කරගැනීම සඳහා සමාජ සාධාරනත්වය වෙනුවෙන් පෙනීසිටීම, පරිසරය ආරක්ෂාවන භාවිතාවන් සහ අර්ථික සුරක්ෂිතභාවය වෙනුවෙන් හඬනැගීම. (ජෙෆ් මුවර්, 2004)
සධාර්මික වෙළදාමේ ක්‍රියාත්මක ව්‍යුහය
සධාර්මික වෙළද ක්‍රියාකාරීත්වයේදී සධාර්මික සහතික මිළක් ලබා දීම, සධාර්මික වෙළඳ සමාජ පාරිතෝශිකය ලබා දීම, නිෂ්පාදකයින් සමඟ සෘජු වෙළඳ සබඳතා නිර්මාණය කර ගැනීම සහ නිෂ්පාදකයින් සමඟ විනිවිදපෙනෙන සුළු දීර්ඝකාලීන වෙළඳ සම්බන්ධතා නිර්මාණය කර ගැනීම වැනි මූලධර්ම මූලික කොට සලකයි. ක්‍රියාත්මක තලයකදී සධාර්මික වෙළදාමේ භාවිත ව්‍යහය පහත ආකාරයට සංෂිප්ත කළ හැකිය.
■ සාමූපකාරී හා තරඟකාරී නොවන වෙළඳ ගනුදෙනු.
සධාර්මික වෙළදාමේදී තරඟය වෙනුවට සාමූහිකත්වයත්, අනෝන්‍ය විශ්වාසයත් ප්‍රධාන කොට සැළකේ. මෙමගින් වෙළද ක්‍රියාවලිය සඳහා ආචාරධාර්මික පදනමක් රැගෙන එයි. වෙළදපලට ඉතාම උසස් තත්වයේ භාන්ඩ නොකඩවා සැපයීමටත් පාරිභෝගිකයන් වෙත පාරිභෝගික ආචාරධර්ම හදුන්වා දීමටත් අනොන්‍ය විශ්වාසය හා සාමූහිකත්වය තරඟකාරීත්වයට වඩා වැදගත්ය. සධාර්මික වෙළඳාමේ වර්තමාන සාර්ථකත්වයට ප්‍රධාන හේතුව මෙය වන අතර සමූපකාරයන් සමඟ එක්ව ක්‍රියා කිරීමට සධාර්මික වෙළඳ ව්‍යාපාරිකයන් නිතරම උත්සාහ කිරීමේ හේතුවද මෙයයි.
■ ණය සහන ලබාදීම.
සුළු නිෂ්පාදකයන්ට ණය ලබා ගැනීම දුශ්කරය. මූල්‍ය ආයතන විසින් ණය දීමට මැලි වීම, දුර පළාත් වල බැංකු ශාඛා නොමැති වීම, ඇපයට තැබීමට වත්කම් නොමැති වීම වැනි විවිධ කරුනු මේ සඳහා බලපායි. සුළු නිෂ්පාදකයන්ට වඩා භාණ්ඩ ආනයන් කරුවන්ට ණය ලබා ගැනීමේ හැකියාව වැඩිය. මෙනිසා සධාර්මික වෙළදාම තුළ ණය ක්‍රමයක් ක්‍රියාත්මක වේ. විශේෂයෙන් කෘෂි නිෂ්පාදන ක්ෂේත්රයේ දී ගොවියන්ට ඔවුන්ගේ නිෂ්පාදන වටිනාකමෙන් සියයට 60 ක අත්තිකාරම් මුදලක් සධාර්මික ආනයන් කරුවන් ගෙවනු ලැබේ. තමන්ගේ නිෂ්පාදනයන් විකිනීමට ප්‍රථමයෙන් තමන් අතට මෙවැනි මුදලක් ලැබීම ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු සාර්ථකව කරගැනීම සඳහා උදවු වේ.
■ වෙළඳපල සම්බන්දයෙන් තොරතුරු සැපයීම.
සධාරණ සහ ශක්තිමත් වෙළඳ ක්‍රියාවලියක් පැවතීමට වෙළඳ ක්‍රියාවලිය හා වෙළද පල තත්වය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සියළු දෙනා හට ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුය. බොහෝ විට අතරමැදියෝ වෙළදපල පිළිබඳ නිවැරදි තොරතුරු නිෂ්පාදකයන්ට ලබා නොදෙති. මෙනිසා සධාර්මික වෙළද ක්‍රියාවලිය තුළ වෙළදපල මිළ ගනන් සම්බන්ධයෙන් හා වෙළදපල ගතිකත්වයන් සම්බන්ධයෙන් නිෂ්පාදකයන් දැනුවත් කිරීම ප්‍රධාන කරුණකි.
■ ප්රජාතන්ත්රීය ලෙස නිශ්පාදකයන්ගේ සහ වගා කම්කරුවන්ගේ සංවිධානගතවීම්.
සධාර්මික වෙළද ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වීමට නිෂ්පාදකයන් ප්‍රජාතාන්ත්‍රික ලෙස සියළු දෙනාට චන්දය දීමේ අයිතිය ඇති සමුපකාරයන් ලෙස සංවිධානගත යුතුය. වතු වල හා වගා බිම් වල සේවය කරන කම්කරුවන්ද එවැනි ප්රජාතන්ත්රවාදී ලෙස ගොඩනගාගත් කන්ඩායම් වලට අයත් විය යුතුය.
ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බූදයට විසදුමක් ?
අප නැවත ලංකාවේ ක්ෂුද්‍ර ණය ගැටළුව පිළිබද අවධානය යොමුකරන්නේ නම් සධාර්මික වෙළදාමේ ක්‍රියාකාරීත්ව ක්ෂුද්‍ර මුල්‍ය ණය ව්‍යසනයට එරෙහි ජාතික සමුළුව විසින් ඉදිරිපත් කරන ලද දිගු කාලීන යෝජනා සෘජුවම ආමණ්ත්‍රණය කරන බව පෙනීයයි.. විශේෂයෙන් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම, සුළු නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම, කාන්තා සමුපකාර සමිති පිහිටුවීම, ප්‍රජා-ව්යවසායත්වය සහ විශ්වීය පොදු සේවා මුලික අයිතිවාසිකම් ලෙස තහවුරු කිරීම වැනි ක්ෂුද්‍ර මුල්‍ය ණය ව්‍යසනයට එරෙහි ජාතික සමුළුව විසින් ඉදිරිපත් කරන ලද දිගු කාලීන යෝජනා සදහා ප්‍රබල විකල්ප ආකෘතියක් සධාර්මික වෙළදාම හරහා ඉදිරිපත් කර ඇත. මෙය හුදෙක්ම ණය කපා හැරීම හෝ ණය සදහා සහන කාලයක් ලබාදීම වැනි තාවකාලික ක්‍රියා මාර්ග ඉක්මවා ගොස් ක්ෂුදු ණය අර්බුදයේ ව්‍යුහාත්මක ගැටළු විසදීම කෙරෙහි වඩාත් බර තබන විකල්ප ආර්ථික ක්‍රියාවලියකි.
ආශ්රිත ලේඛණ
බණ්ඩාර, බුද්ධික “ සධාර්මික වෙළදාම, විකල්ප වෙළදාමක්:සාධාරණ සමාජයක්“ ලෝක වෙළදාම හා සමූපාකාර ව්‍යාපාරය පිළිබඳ විවේචනාත්මක හැදින්වීමක්. සේතුක ප්‍රකාශන, 2011
https://www.fairtrade.org.uk/wp-content/uploads/legacy/doc/2019_Monitoring_summary_10thEd.pdf
Moore, Geoff. “The Fair Trade Movement: Parameters, Issues and Future Research.” Journal of Business Ethics, Vol. 53, No. 1/2 , (Aug, 2004), pp. 73-86. URL:http://www.jstor.org/stable/25123283
Nicholls, Alex. Opal, Charlotte. “Fair Trade: Market-Driven Ethical Consumption.” London: Sage Publications, 2005.
විමුක්ති ද සිල්වා, ”ජීවිතය වෙනුවට මරණයට අත වනන ක්ෂුද්‍ර මුල්‍ය ණය ව්‍යසනයට එරෙහි ජාතික සමුළුව” https://monlar.lk/microfinancewithelection.html