පාරිසරික කෘෂිකර්මාන්තය (Agroecology) පිළිබඳ සජීවී අන්තර්ජාල වෙබිනාර් මාලාවක්
රෙනෝයිසන්ස් ශ්‍රී ලංකා, මොන්ලාර් සහ ග්‍රීන්ෆෙම් සංවිධාන කාබනික ගොවිතැනේ ලාංකීය මාදිලිය පිළිබඳ සජීවී අන්තර්ජාල වෙබිනාර් සාකච්ජා මාලාවක් දියත් කරයි.
රෙනෝයිසන්ස් ශ්‍රී ලංකා, මොන්ලාර් සහ ග්‍රීන්ෆෙම් සංවිධාන එක්ව පාරිසරික කෘෂිකර්මාන්තය (Agroecology) පිළිබඳ සජීවී අන්තර්ජාල වෙබිනාර් මාලාවක් දියත් කිරීමට සැලසුම්කර ඇත. රෙනෝයිසන්ස් ශ්‍රී ලංකා හි ‘කුඹුක්’ අන්තර්ජාල ජාලගත කිරීමේ වේදිකාව (“Kumbuk” online networking platform) ඔස්සේ වෙබිනාර් සංවාද මාලාවක් ඹක්තෝබර් 09 වෙනිදා සිට ඔක්තෝබර් 30 වෙනිදා දක්වා සෑම සෙනසුරාදා දිනකම පස්වරු 6.00 සිට පස්වරු 7.30 දක්වා පැවැත්වීමට සැලසුම්කර ඇත.
ලංකාවේ ජනතාවට හිතකර සැබෑ හරිත විප්ලවයක් සඳහා දායක වීමේ අරමුණින් කාබනික ගොවිතැනේ ඇති වැදගත්කම මේමගින් ඉස්මතුකොට පෙන්වයි.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝක ජනයාගේ කෂනික ආහාර අවශ්‍යතාවයන් සපුරාලීම අරමුණු කරගනිමින් ගෝලීය ආහාර නිශ්පාදනය ඉහල දැමීම සදහා ‘හරිත විප්ලවය’ සංකල්පය ක්‍රියාත්මක කෙරිනි. 1960 ගණන් වන විට හරිත විප්ලවය හරහා ආසියානු සාම්ප්‍රදායික කෘෂිකාර්මික පිළිවෙත් උසස් තාක්‍ෂණික හා විද්‍යාත්මක භාවිතයක් බවට පරිවර්තනය කිරීම ආරම්බ කෙරිණි. ’හරිත විප්ලවය’ හරහා කෘෂිකාර්මික නිෂ්පාදනය දෙගුන කරන නව ඉහළ අස්වැන්නක් සහිත සහල් සහ අනෙකුත් භෝග ප්‍රභේද හඳුන්වා දුන් නමුත්, එතැන් පටන් දශක ගණනාවක් පුරා අඛණ්ඩව සිදුවූ කෘෂි රසායනික භාවිතය හේතුවෙන් පෘථිවිය මත සිදු වූ බලපෑම මිනිසුන්ගේ මෙන්ම අනෙකුත් සියලුම ජීවී විශේෂවල හා පරිසරයේ පැවැත්මට තර්ජනයක් වී ඇති බව පැහැදිලි සත්‍යකි.
හරිත විප්ලවය හරහා හදුන්වාදුන් මෙම කෘෂිකාර්මික ක්‍රමය රට තුළ නොවිසඳුණු සමාජ, පාරිසරික, ආර්ථික හා සෞඛ්‍ය ගැටලු රාශියක් නිර්මාණය කර ඇති අතර, විශේෂයෙන් කුඩා පරිමාණ ආහාර නිෂ්පාදකයින් අතර ග්‍රාමීය දිළිඳුකම අඩු කිරීම සහ ආහාර සුරක්‍ෂිතතාවය සහතික කිරීම ඇතුළු හරිත විප්ලවය විසින් විසඳීමට පොරොන්දු වූ ගැටලු විසඳීමට අසමත්වි ඇත. සැමට සාධාරණ මිලකට පෝෂ්‍යදායී සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා දීම, මන්දපෝෂණය තුරන් කිරීම සහ අනෙකුත් පෝෂණ මූලික සෞඛ්‍ය ගැටලු යනාදිය මේ අතර වේ.
2021 අප්‍රේල් මාසයේදී රජය විසින් එක් රැයකින් ලංකාවට රසායනික පොහොර ආනයනය කිරීම සම්පූර්නයෙන්ම තහනම් කිරීම මගින් ලංකාවේ කෘෂිකර්මානතය මුලුමනින්ම කාබනික වගාවක වෙත පරිවර්ථනය කිරීමට තීරණය කෙරිනි. 1970 දී ශ්‍රී ලංකාවේ හරිත විප්ලවය හඳුන්වා දීමෙන් පසු පොහොර හා පළිබෝධනාශක ලෙස කෘතිම කෘෂි රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් භාවිතා කරන කෘෂිකාර්මික භාවිතයන් ඉගෙන ගත්, ප්‍රවර්‍ධනය කළ, සහයෝගය දුන් සහ අනුගමනය කළ බොහෝ දෙනෙකුට මෙය විස්මය දනවන තීරණයක් විය.
රජය ප්‍රකාශ කර සිටියේ රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවට අනූව සෞඛ්‍ය සම්පන්න සහ ඵලදායි පුරවැසියෙකු බිහිකිරීම සඳහා වස විස නැති සමබල ආහාර වේලක් ලබා ගැනීමේ අයිතිය ජනතාවට තහවුරු කළ යුතු බවත්, මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිරියේදී රටේ කෘෂිකාර්මික අංශය තුළ කාබනික පොහොර පමණක් භාවිතා කරන බවට සහතික වීමට රජය පියවර ගෙන ඇති බවයි. සමාජයේ සමහර පාර්ශවයන්ගේ විවේචන නොතකා අනාගත පරපුරේ යහපත උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බව රජය විසින් අවධාරණය කෙරිනි. ලංකාවේ ජල මූලාශ්‍ර දූෂණය වීම සහ වකුගඩු රෝගය වැනි මානව සෞඛ්‍ය ගැටලු රසායනික පොහොර ආනයනය කිරීම තහනම් කිරීමට හේතු ලෙස රජය විසින් සදහන් කෙරිනි.
කාබනික පොහොර යෙදීම ජනතාවට වාසිදායක බැවින් සංක්‍රාන්ති කාලය තුළ අභියෝග එල්ල වුවද, එය ක්‍රියාත්මක කිරීමට මහජන නියෝජිතයින් ඉදිරියට යා යුතු බව ජනාධිපති වරයා විසින් ප්‍රකාශ කරන ලදී.
රජය විසින් කෂනිකව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමත් සමග සමාජය තුළ මේ සම්බන්දයෙන් මතුවූ පුලුල් සාකච්ජාව තුළ අපට ප්‍රධාන ධ්‍රැවීකරණයන් දෙකක් හදුනාගත හැක. එක් අදහසක් වූයේ ලංකාව කාබනික කෘෂිකර්මාන්තය වෙත ක්‍රමානුකූලව පරිවර්ථනය විය යුතු බවත්, රසායනික පොහොර ගෙන්වීම කෂනිකව තහනම් කිරිමත් සමග මහා පරිමාන බෝග වගාවන්ගේ නිශ්චිත නිශ්පාදන ඉලක්කයන් සපුරාගැනීමේ අභියෝගයකට මුහුන දෙන බවයි. මතුකෙරුනු අනෙක් අදහස වූයේ ලංකාවේ කෘෂි කර්මාන්තය සම්බන්දයෙන් දිගුකාලීන දැක්මක් සහිත නායකත්වයක පවතින අඩුව තුළ මෙවැනි කෂනික තීරණයන් හරහා විවර වන අවකාශය ලංකාවේ කෘෂිකර්මාන්තය මුලුමනින්ම කාබනික භාවිතයක් දක්වා පරිවර්ථනය කිරීමේ අවස්ථාවක් බවට පත්කරගත යුතු බවයි.
මෙම සංධර්භය තුළ කාබනික හා පාරිසරික කෘෂිකාර්මික භාවිතයන් දැනටමත් අනුගමනය කරන ඒ සදහා සහයෝගය දෙන සහ එයට අනුග්‍රහය දක්වන බොහෝ පුද්ගලයින්, සංවිධාන සහ ගොවීන්, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වඩාත් තිරසාර පද්ධතියක් බවට පත් කිරීම සදහා රජය ගත් තීරණය සාදරයෙන් පිළිගන්නා ලදී.
රසායනික පොහොර ආනයනය තහනම් කිරීමේ තීරණයෙන් පසුව රජය, කෘෂිකාර්මික ආයතන, විශ්ව විද්‍යාල ඇතුළු විවිධ පාර්ශවකරුවන් විසින් සංවිධානය කරන ලද කාබනික කෘෂිකර්මාන්තය සහ පාරිසරික කෘෂිකර්මාන්තය පිළිබඳ අන්තර්ජාල වෙබිනා සංවාදයන් කිහිපයක් පවත්වා ඇත.
ජාතික ඉඩම් හා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ශමිල රත්නසූරිය ප්‍රකාශ කර සිටියේ මෙම සාකච්ජාවන් තුළ කෘෂිකාර්මික ක්ෂේත්රයට අදාල වෘර්තීකයින්, නිලධාරීන් සහ බුද්ධිමතුන්ට අමතරව ඉදිරියෙන්ම සිටිය යුතු ගොවීන් පාරිභෝගිකයින් කාන්තාවන් සහ තරුණයින්ගේ පූර්ණ නියෝජනයක් සහ ක්‍රියාකාරී සහභාගීත්වයක් සහිතව කෘෂිකාර්මික ක්ෂේත්රයේ බොහෝ අංශවල පවතින ගැටලු විසදීම සදහා කාබනික කෘෂිකර්මාන්තයේ සහ පාරිසරික කෘෂිකර්මාන්තයේ සාකල්‍යය බව අවධාරණය කෙරෙන සහ ප්‍රදර්ශනය කෙරෙන සාකච්ජාවන් අපිට දකින්න නොලැබුනු බවයි.
ග්‍රීන්ෆෙම් සංවිධානයේ චතූ සෙවුවන්දි ප්‍රකාශ කරන්නේ “2021 ජූලි 31 දින අංක 2238/45 දරණ ගැසට් නිවේදනය මඟින් මුදල් අමාත්‍යාංශය විසින් රසායනික පොහොර ආනයනය කිරීමේ රෙගුලාසි නැවත ලිහිල් කර තිබෙනව. මෙම පසුබිම යටතේ ලංකාව තුළ කාබනික වගාව නගාසිටුවීමේ සාකච්ජාව පුලුල් ආකාරයෙන් නැවත මතුකරගැනීම වැදගත් වෙනවා” යනුවෙනි.
රෙනෝයිසන්ස් ශ්‍රී ලංකා සංවිධානයේ සමාරම්භකයින් වන අශින්සා බෝපේආරච්චි කවාලියේ හා නෙවිල් උදිත වීරසිංහ විසින් මෙම අන්තර්ජාල වෙබිනාර් මාලාවේ අරමුණ පැහැදිලි කරමින් මෙසේ පවසයි.
“මෙම අන්තර්ජාල වෙබිනාර් සාකච්ජා මාලාව හරහා අප බලාපොරොත්තු වන්නේ රසායනික පොහොර භාවිතයට විකල්පයක් වශයෙන් පාරිසරික කෘෂිකර්මාන්තය සම්බන්දයෙන් ලංකාව තුළ පවතින ස්වදේශීය දැනුම හා එය ප්‍රායෝගිකව භාවිතාකිරීමේ ප්‍රවේශය අතර ඇති පරතරය පියවීමට අවශ්‍යය කෙරෙන ප්‍රායෝගික දැනුම ඔබවෙතට ගෙනඒමට වේදිකාවක් නිර්මාණය කිරීමයි. අපගේ හවුල්කාර සංවිධාවයන් වන මොන්ලාර් සහ ග්‍රීන්ෆෙම් දශක ගණනාවක් පුරා ස්වදේශීය කෘෂිකාර්මික භාවිතයේ ආස්වාදය සහිතව පාරිසරික කෘෂිකර්මික භාවිතයේ පවතින චිරස්ථායිභාවය තහවුරුකර පෙන්වා ඇත. පාරිසරික කෘෂිකාර්මික භාවිතය මහා පරිමාණයෙන් නිසි පරිදි ක්‍රියාත්මක කළ හොත් ආහාර ස්වෛරීභාවයක්, පාරිභෝගිකයින්ට යහපත් සෞඛ්‍යයක්, ගොවීන්ට නිසි ආදායමක් සහ සමෘද්ධිමත් සාමකාමී පරිසරයක් සඳහා මේමගින් ඉඩ සලසයි”
මෙම වෙබ්නාර් මාලාව මඟින් ශ්‍රී ලංකීය හා ජාත්‍යන්තර ප්‍රවීණයන් ගේද ශ්‍රී ලාංකික ගොවීන් ගේද අත්දැකීම් හරහා ලංකාවේ කෘෂිකර්මාන්තයේ සෑම අංශයක් පිළිබඳව අවධානය යොමුකිරීමට අපේක්ෂාකෙරෙයි.
වැඩසටහනට අදාල ෆේස්බුක් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
මූලාශ්‍ර :
1) Time for a new Green Revolution
https://ceylontoday.lk/news/time-for-a-new-green-revolution
2) Chemical fertilizer import ban relaxed
https://srilankamirror.com/news/24113-chemical-fertiliser-import-ban-relaxed
3) ‘Fertilizer Saga’ in Sri Lanka: A Considered Opinion
https://island.lk/fertilizer-saga-in-sri-lanka-a-considered-opinion/
4) Go ahead and implement decision to use organic fertilizer despite challenges
https://www.presidentsoffice.gov.lk/index.php/2021/06/08/go-ahead-and-implement-decision-to-use-organic-fertilizer-despite-challenges/
Read more
Discover how Renaissance Sri Lanka builds sustainable social, environmental and economic ecosystems in Sri Lanka, here.
Read how Renaissance Sri Lanka helps victims of the covid-19 related economic crisis here.